Address by President Maithripala Sirisena at the 71st Session of the United Nations General Assembly

21 sep 2016 unga president

ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි සැසිවාරය අමතා කරන ලද කථාව
2016 සැප්තැම්බර් මස 21 වැනිදා

සුබ සන්ධ්‍යාවක් !
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!
ආයුබෝවන්!
වනක්කම් !
අස්ලාම් අලෙයිකුම්!

එක්සත් ජාතීන්ගේ 71 වැනි සමුළුවට, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදිහට සහභාගී වීමට ලැබීම මා ඉතාමත්ම සතුටට පත්වෙන අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ නව පරිවර්තනීය යුගයක් ආරම්භ කරමින් ගෙවීගිය මාස විස්සක පමණ කාල සීමාව, අවශ්‍ය දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අපි මූලිකත්වය දී තිබෙනවා. විශේෂයෙන්ම, මගේ රජය බලයට පත්වීමට පෙර, ශ්‍රී ලංකාව තුළ තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත්වීමේ සමාජ පසුබිම ඉවත් කරමින්, සතුටින්, නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන ජනතාවක් සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කරමින්, ඒ කටයුතු ශක්තිමත් කර තිබෙනවා. මගේ රජයේ අරමුණ, ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජනතාව, ලෝකයේ ඉතාමත්ම සතුටින් ජීවත්වන රටවල් අතරින් එක් රටක් බවට පත් කිරීමයි. ඒ නිසා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත්, ආර්ථික සමෘද්ධිය ඇති කිරීමත් තුළ, ප්‍රධාන වශයෙන් ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ ජනතාවක් බවට පත් කිරීම මගේ රජයේ ප්‍රධාන අරමුණක් සහ අභිප්‍රායක්. ඒ වගේම දුගී භාවය අද මුලු ලෝකය පුරාම තිබෙන බරපතල අභියෝගයක් බැවින් 2017 ලබන වර්ෂය, ශ්‍රී ලංකාවේ දුගීභාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර තිබෙනවා. ආර්ථික සංවර්ධනය මුල් කරගත් රටක, ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කිරීමේ කාර්යයට, ඒ අනුව මා ප්‍රමුඛත්වය දී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම, අනෙකුත් සියලු ආයතනික රාජ්‍යයන් විසින් කටයුතු කිරීමේදී, ගරු සභාපතිතුමනි, ඒ වගේම ගෞරවනීය රාජ්‍ය නායකයනි, නෝනාවරුනි, මහත්වරුනි, අප සැමවිටම කැපවී සිටින්නේ, තිරසර සංවර්ධනය ප්‍රමුඛතාවයේ ලා සමාජයට, රටට අවශ්‍ය වෙනස්කම් ඉටු කිරීමටයි. එහිදී, මූලික වශයෙන්ම, අවශ්‍ය ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමට ප්‍රමුඛත්වයක් සැමවිටම අපි දී තිබෙනවා. පරිසර සංරක්ෂණය, ඒ වගේම, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් මැතිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ පැරිස් සමුළුව ඇති කරගත් ප්‍රඥප්තීන් තුළ කටයුතු කරමින්, ප්‍රධාන ලෙසම, අපිට අවශ්‍ය මූලික වෙනස්කම් සමග රටේ පරිවර්තනීය යුගය සියලු අංශවල වෙනස්කම් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. උගත් තරුණ පරපුර වෙනුවෙන්, දැනුම පාදක කරගත් ආර්ථික සංවර්ධන සහ ආර්ථික ප්‍රතිපත්ති සමග නව උත්පාදන ආර්ථිකය, ඒ වගේම හරිත ආර්ථිකය සමග නව සැලසුම් ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් බවට පත් කිරීමට මා කටයුතු කරනවා.

Read more: www.mfa.gov.lk

 

Copyright © 2021 www.lankamission.org. All Rights Reserved.